ශ්‍රී ලංකාවේ අත්කම් නිර්මාණ සහ නිර්මාණශීලී කර්මාන්ත සතු සන්නාමයන් (Brands) ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයග්‍රහණය කරවීම ඉලක්ක කරගනිමින්, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන ‘Creative Sri Lanka 2030’ ජාතික වැඩසටහනේ දෙවන අදියර නිල වශයෙන් ආරම්භ කර තිබේ.
අපනයනකරුවන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්, දේශීය ශිල්පීන්, නිර්මාණකරුවන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026-2030) යටතේ ක්‍රියාත්මක වේ. 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කය කරා ළඟා වීම සඳහා දේශීය මැටි, ලී, තන්තු, ලෝහ සහ රෙදිපිළි ඇසුරෙන් නිපදවන සාම්ප්‍රදායික අත්කම් නිෂ්පාදන අගය එකතු කළ නවීන උසස් නිමැවුම් ලෙස ජාත්‍යන්තර අගය දාමයන් (Global value chains) සමඟ සම්බන්ධ කිරීමට EDBය පියවර ගනිමින් සිටියි.














