ආක්ටික් කලාපයේ උපායමාර්ගික නොසන්සුන්තාව සහ කලාපීය භූ-දේශපාලනික බලපෑම් ඉහළ යාමත් සමඟ, ඩෙන්මාර්කය සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට අනිවාර්ය හමුදා සේවයට අනුයුක්ත කළ ආධුනික සෙබළුන් (Conscripts) පිරිසක් ග්‍රීන්ලන්තය (Greenland) වෙත අනුයුක්ත කර තිබේ.
ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව ඩෙන්මාර්කය විසින් පැහැර හැර ඇති බවටත්, එම දූපත ඇමෙරිකාවට ලබාගත යුතු බවටත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශවලින් පසු, ඩෙන්මාර්කය සිය නව දීර්ඝ කළ හමුදා පනත යටතේ ආක්ටික් ප්‍රදේශයේ ආරක්ෂාව උදෙසා ඩොලර් බිලියන ගණනක අලුත් ආයෝජන සිදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව NATO සංවිධානයේ ‘Arctic Sentry’ මෙහෙයුමට සමගාමීව, අධික ශීත කාලගුණය තුළ සටන් කිරීමේ සහ ජීවත් වීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා ‘Arctic Endurance’ හමුදා අභ්‍යාසය වෙනුවෙන් මෙම සෙබළුන් ග්‍රීන්ලන්තයේ කැන්ගර්ලුසුආක් (Kangerlussuaq) ප්‍රදේශයට යවා තිබේ. කෙසේ වෙතත්, ආක්ටික් කලාපය තුළ NATO සංවිධානය සිය හමුදා ක්‍රියාකාරකම් වැඩි කිරීම තමන්ට එල්ල වන සෘජු ආරක්ෂක තර්ජනයක් බව රුසියාව ප්‍රකාශ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













