ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකුට අයත් සමාගම් කොටස් විකිණීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ලිඛිත දේශන සඳහා ලබන සැප්තැම්බර් 18 වැනිදා වන තෙක් එය කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය අද (03) නියෝග කර තිබේ.
මෙම නඩුවේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අද දින නියම කෙරිණි. 1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් 25 අතර කාලය තුළ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටෝර්නි බලපත්‍රයක් මඟින් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා හතරක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩ මහතා පෙනී සිටි අතර, විත්තිකාර උදය ගම්මන්පිල මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.














