කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරතාව දිනා ගැනීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත් වී තිබේ.
අවසන් මහ තරගයේදී පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 97ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් බදුරලිය ක්‍රීඩිකාවෝ ශූරතා කුසලානය සමඟ රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් ද දිනාගත්හ. අනුශූරතාවට පත් පානදුර කණ්ඩායමට රුපියල් ලක්ෂ 3ක මුදල් තිළිණයක් හිමි විය.
පළමුව පන්දුවට පහදුන් බදුරලිය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 202ක් ලබාගත් අතර, පිළිතුරු ලෙස පානදුර කණ්ඩායමට පන්දුවාර 33 පන්දු 4ක් තුළ ලබාගත හැකි වූයේ ලකුණු 105ක් පමණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 25කට කඩුලු 6ක් දවාගත් ෂෙහාරා ඉඳුවරී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙස සම්මාන දිනා ගත්තාය. මීට අමතරව, තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය ලෙස නිලක්ෂිකා සිල්වාද, සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකා මල්කි මදාරාද සම්මාන දිනා ගැනීමට සමත් වූහ.














