මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 45කට ආසන්න පිරිසක් වෙනුවෙන් මහාධිකරණයට ව්‍යාජ හෝ අක්‍රමවත් ලෙස ඇප අයදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂවරයාට නියෝග කර තිබේ.
මෙම විමර්ශනය සඳහා යොමු කර ඇත්තේ හල්පේගම නිමල් කරුණාතිලක සහ ඇන්තනි ඇලෙක්සැන්ඩර් යන පුද්ගලයන් දෙදෙනාය. මොවුන්ගෙන් එක් අයෙකු වන ඇන්තනි ඇලෙක්සැන්ඩර් මීට පෙර (අගෝස්තු 14 වන දින) මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, අනෙක් පුද්ගලයා හරහා සැකකරුවන් 20කට ආසන්න පිරිසක් වෙනුවෙන් එකම නීතිඥවරයෙකු සහ එකම ආකෘතියක දිවුරුම් ප්‍රකාශ යටතේ ඇප අයදුම්පත් ගොනු කර ඇති බව අධිකරණයේදී අනාවරණය වී ඇත.
මෙම ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී බරපතල අක්‍රමිකතා සහ ජාවාරම්කාරී ස්වරූපයක් පවතින බව නිරීක්ෂණය කළ විනිසුරුවරයා, අදාළ ඇප අයදුම්පත් සියල්ල ප්‍රතික්ෂේප කළ අතර, එම පුද්ගලයන්ගේ පසුබිම, අපරාධ ඉතිහාසය සහ ඔවුන්ට මෙම අයදුම්පත් ඉදිරිපත් කිරීමට අනුබල දුන් පාර්ශ්වයන් පිළිබඳව කඩිනමින් වාර්තා කරන ලෙස නියෝග කර ඇත.














