තරුණ ක්රීඩක ක්රීඩිකාවන්ගේ කුසලතා දිරිමත් කිරීම සහ පාසල් මට්ටමින් පැසිපන්දු ක්රීඩාව නඟාසිටුවීමේ අරමුණින් ‘ශ්රී ලංකා පාසල් පැසිපන්දු තරගාවලිය-2026’ සඳහා අනුග්රාහකත්වය ලබා දීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ.
කොළඹ 02 පිහිටි ‘පීපල්ස් ටවර්’ ශ්රවනාගාරයේදී පැවති උත්සවයකදී මහජන බැංකුව සහ ශ්රී ලංකා පාසල් පැසිපන්දු සංගමය අතර මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති අතර, ඒ යටතේ 2026 වසරේ පැවැත්වෙන වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 20න් පහළ යන වයස් කාණ්ඩයන් සඳහා මහජන බැංකුවේ අනුග්රාහක දායකත්වය හිමි වේ. පාසල් සිසුන් අතර විනය, කණ්ඩායම් හැඟීම සහ නායකත්ව ගුණාංග වර්ධනය කරමින් මෙම ක්රීඩාව ජනප්රිය කිරීමට විශේෂ සන්නිවේදන වැඩසටහනක් ක්රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.














