ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර කයිරෝ නුවරදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව, 1967 ජූනි 4 වන දින පැවැති දේශසීමා පදනම් කරගනිමින් නැගෙනහිර ජෙරුසලම අගනුවර කරගත් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවිය යුතු බවට ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කර තිබේ.
චීන ජනාධිපතිවරයාගේ මෙම දෙදින නිල සංචාරය දෙරට අතර වසර 70ක තානාපති සබඳතා සනිටුහන් කරන අතර, මැදපෙරදිග අර්බුදයේදී පලස්තීන අයිතීන් සුරක්ෂිත කිරීම සහ සාධාරණ විසඳුමක් සඳහා රාජ්‍යයන් දෙකක සංකල්පය අත්‍යවශ්‍ය බව දෙරටේ නායකයෝ අවධාරණය කළහ. පලස්තීන ජනතාව ඔවුන්ගේ ස්වදේශීය භූමියෙන් පිටුවහල් කිරීමට දැරෙන උත්සාහයන් එකහෙළා ප්‍රතික්ෂේප කළ ඔවුන්, ගාසා තීරයට මානුෂීය ආධාර බාධාවකින් තොරව ලබාදීම සහ පලස්තීන අධිකාරිය නැවත ගාසා තීරයේ පාලනය භාරගැනීම ඉක්මන් කළ යුතු බව පෙන්වා දුන්හ. බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ නීති විරෝධී ජනාවාස ව්‍යාප්තිය හා ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළ නායකයෝ, චීනයේ ‘එක් තීරයක් – එක් මාවතක්’ සංකල්පය සහ ඊජිප්තුවේ ‘විෂන් 2030’ උපායමාර්ගය මුල් කරගනිමින් ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් රැසකටද අත්සන් තැබූහ.
















