ශ්‍රී ලංකාවේ පුළුල් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ, ඔස්ටි්රියාවේ වියනාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයේ (UNODC) 17 වැනි ක්‍රියාත්මක කිරීමේ සමාලෝචන කණ්ඩායමේ (IRG) පළමු යළි ආරම්භ කරන ලද සැසිවාරයේදී විශේෂ අවධානයට ලක් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) සභාපති, විනිසුරු නීල් ඉද්දවල මහතා එහිදී විශේෂ දේශනයක් පවත්වමින් රටේ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ, ඩිජිටල් විනිවිදභාවය සහ ආයතනික ශක්තිමත් කිරීම් පිළිබඳව කරුණු පැහැදිලි කළේය. අංක 9 දරන 2023 නව දූෂණ විරෝධී පනත, මධ්‍යගත ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පද්ධතිය සහ 2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම (Towards Integrity) මෙහිදී විශේෂයෙන් ඉස්මතු කරනු ලැබීය. නීති සම්පාදනයට වඩා මහජන විශ්වාසය සහ වගවීම තහවුරු කිරීම ශ්‍රී ලංකාවේ සැබෑ අපේක්ෂාව බව හෙතෙම පෙන්වා දුන් අතර, සංවර්ධනය වෙමින් පවතින රටවලට ආදර්ශයක් ලෙස ජාත්‍යන්තර නියෝජිතයන්ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතියට පැසසුම් හිමි විය.














