ශ්‍රී ලංකාවේ වතු ආර්ථිකය තුළ මුදල් සංසරණය සහ ගෙවීම් ක්‍රමවේද ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගනිමින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ වීසා (Visa) ආයතනය ඒකාබද්ධව නව පුරෝගාමී ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ.
නුවරඑළිය, හේවාහැට හෝප් වතුයාය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම මාස හතක ආරම්භක ව්‍යාපෘතිය මඟින්, ප්‍රධාන වශයෙන්ම තරුණ කාන්තා කෘෂි නිෂ්පාදකයින් 50 දෙනෙකු ඉලක්ක කර ගනිමින් මූල්‍ය සාක්ෂරතා පුහුණුව, ඩිජිටල් තාක්ෂණයට යොමු කිරීම සහ විධිමත් මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබා දීම සිදු කෙරේ. දේශීය කෘෂිකාර්මික වටිනාකම් දාමයන් තුළ මුදල් භාවිතය අවම කර විධිමත් මූල්‍ය පද්ධති භාවිතය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි.
පොලිතනල් වගාව සහ ගෙවතු වගාව වැනි නව ආදායම් මාර්ග සමඟ මූල්‍ය ඇතුළත් කිරීම් සම්බන්ධ කරමින් වතු ප්‍රජාවගේ ජීවනෝපාය නංවාලීමට මෙමඟින් අපේක්ෂා කෙරේ. මෙහිදී අදහස් දක්වමින් UNDP ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සඳහන් කළේ, මූල්‍ය සාක්ෂරතාව සැබෑ ආදායම් මාර්ග සමඟ සම්බන්ධ කිරීමෙන් ව්‍යවසායකත්වය නංවාලීමට සහ ඔරොත්තු දෙන ජීවනෝපායන් ගොඩනැංවීමට හැකි වන බවයි. එෙන්ම, අවිධිමත් මුදල් පද්ධතිවල සිට විධිමත් ආර්ථිකය වෙත ආරක්ෂිත සහ විනිවිදභාවයකින් යුත් ප්‍රවේශයක් නිර්මාණය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණ බව වීසා ශ්‍රී ලංකා සහ මාලදිවයින් රටේ කළමනාකාර අවන්ති කොළඹගේ මහත්මිය පෙන්වා දුන්නාය. මෙම වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන ජාතික මූල්‍ය ඇතුළත් කිරීමේ මූලෝපායට ද සමාන්තරව ක්‍රියාත්මක වේ.














