වර්තමානය වන විට රජය මෙරට ප්රජාතන්ත්රවාදී ක්‍රමය සහ විපක්ෂය මර්දනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් පිටකෝට්ටේ ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේදී අද (සැප්තැම්බර් 06) පැවති උත්සවය අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ නීතිඥ සංගමයට, වෛද්‍යවරුන්ට සහ භික්ෂුන් වහන්සේලාට එරෙහිව කටයුතු කිරීමට මෙන්ම හේතුවක් නොමැතිව දේශපාලනඥයන් අත්අඩංගුවට ගනිමින් විපක්ෂය සහ නිදහස් වෘත්තිය සමිති මර්දනය කිරීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටින බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය මඟින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යය මෙන්ම නවවන වගන්තියෙන් ආරක්ෂා කළ යුතු බුද්ධාගම රැක ගැනීමට සියලු දෙනා එකතු විය යුතු බවද ඔහු අවධාරණය කළේය.















