විද්‍යුත් වාහන (EV) සඳහා මෑතකදී හඳුන්වා දුන් නව කොළ පැහැති වාහන අංක තහඩුව පිළිබඳව නිසි දැනුවත්භාවයක් නොමැති වීම හේතුවෙන් රථවාහන පොලිස් නිලධාරීන් විසින් නව විද්‍යුත් මෝටර් රථයක හිමිකරුවෙකු මඟුල්ගම, වැලිවේරිය ප්‍රදේශයේදී නවතා ප්‍රශ්න කර තිබේ.
අලුතින් මිලදී ගත් තම විද්‍යුත් රථයේ තිබූ කොළ පැහැති අංක තහඩුව දැකීමෙන් පසු පොලිස් නිලධාරීන් තමන්ව නැවැත්වූ බව අදාළ වාහන හිමිකරු සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝවක සඳහන් කර ඇත. එම අංක තහඩුව ව්‍යාජ එකක් නොව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නීත්‍යානුකූලව නිකුත් කරන ලද්දක් බව තහවුරු කිරීම සඳහා ඔහුට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ තහවුරු කිරීමේ පණිවුඩය සහ අනෙකුත් අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමට සිදුව තිබේ.
මෙය නිලධාරීන්ගේ වරදක් ලෙස දැඩිව බැහැර කළ නොහැකි වුවද, නව අංක තහඩු ක්‍රමවේදය පිළිබඳව දිවයිනේ සියලුම පොලිස් ස්ථාන සහ රථවාහන අංශ වෙත නිසි පරිදි දැනුවත් කිරීම් සිදු කර නොමැති බව මේ හරහා පැහැදිලි වේ. අනාතයට මෙවැනි අපහසුතා මඟහරවා ගැනීම සඳහා අදාළ ගැසට් නිවේදනවල පිටපත් සහ නව වෙනස්කම් පිළිබඳ තොරතුරු කඩිනමින් පොලිස් ස්ථාන වෙත ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බව වාහන හිමිකරුවන් පෙන්වා දෙයි.
















