පවතින අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සතුන්ට සහ වනජීවී නිලධාරීන්ට ඇති වන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්, යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 එළඹෙන සැප්තැම්බර් 14 වැනි දින සිට ඔක්තෝබර් 15 වැනි දින දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ වියළි කලාපීය තත්ත්වයන් දැඩි ලෙස බලපා ඇති මෙම කාල සීමාව තුළ සතුන්ගේ ජල අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ. සංචාරක ජීප් රථ ගමන් කිරීම හේතුවෙන් සතුන්ට සහ උද්‍යාන කාර්ය මණ්ඩලයට ඇති වන පීඩනය අවම කිරීම මෙහි තවත් අරමුණකි. කෙසේ වෙතත්, යාල වනෝද්‍යානයේ අනෙකුත් කලාප (කලාප 3, 4, 5 සහ 6) සංචාරකයින් සඳහා අඛණ්ඩව විවෘතව පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව, මන්නාරම සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ඇතුළු අනෙකුත් ශුෂ්ක කලාපීය ප්‍රදේශවල ද කාලගුණික තත්ත්වයන් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් පවතින අතර, අවශ්‍ය වුවහොත් එම වනෝද්‍යාන සම්බන්ධයෙන්ද ඉදිරියේදී උචිත පියවර ගැනීමට කටයුතු කරන බව බලධාරීහු පවසති.


















