2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එසේ වුවද, සැප්තැම්බර් මාසයේ ගෙවුණු මුල් දින හය තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 991 දෙනෙකු පමණක් වන බැවින්, ඩෙංගු රෝගීන් වාර්තා වීම සාපේක්ෂව පහළ අගයක පවතින බව පෙනී යයි.
වාර්තා වී ඇති සමස්ත රෝගී සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම අගය 20,527ක් ලෙස සටහන් වේ. මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් තහවුරු කරයි.
ඉදිරියේදී පවතින වර්ෂාපතන තත්ත්වය හමුවේ රෝග ව්‍යාප්තිය නැවත ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, තමන් ජීවත් වන පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


















