ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘උදයිගිරි’ (INS Udaygiri) නමැති ප්‍රහාරක යුධ නෞකාව නිල සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 08) කොළඹ වරායට සපැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
මීටර් 149.02ක දිගින් යුත් මෙම ෆ්‍රිගෙට් (Frigate) වර්ගයේ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කප්පිතාන් විකාස් සූද් (Captain Vikas Sood) කටයුතු කරයි. ඔහු 2020 ජූලි සිට 2023 ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස ද සේවය කර ඇත. සංචාරය අතරතුර කප්පිතාන් විකාස් සූද් මහතා බස්නාහිර නාවික විධාන මූලස්ථානයේදී බස්නාහිර නාවික ප්‍රදේශ භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා හමුවීමට නියමිතය. මෙම සංචාරය තුළදී දෙරට නාවික හමුදාවන් අතර සබඳතා සහ සුහදතාව වර්ධනය කරගැනීමේ අරමුණින් සංවිධානය කර ඇති සුහද වැඩසටහන් රැසකට සහ දිවයිනේ සංස්කෘතික නැරඹුම් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ද නෞකාවේ කාර්ය මණ්ඩලය එක්වීමට නියමිතය.














