ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ‘ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක්’ ලෙස යළි වර්ගීකරණය කිරීම හේතුවෙන්, මෙතෙක් මෙරටට සහන මිලට හෝ නොමිලේ ලැබුණු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. ඒ අනුව ලබන වසරේ සිට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා වැය වන පිරිවැයෙන් කොටසක් දැරීමට සිදුවන අතර, 2028 වසර වන විට සමස්ත පිරිවැයම සම්පූර්ණයෙන්ම රජය විසින් දැරීමට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2,300ට වඩා අඩු රටවල් සඳහා පමණක් ‘ගැවී’ (Gavi) හවුල්කාරිත්වය හරහා ලැබෙන මෙම සහන, ශ්‍රී ලංකාව එම සීමාව ඉක්මවා යාම නිසා මෙලෙස අහිමි වෙමින් පවතින අතර, හෙපටයිටිස් බී, පෙන්ටාවැලන්ට්, පෝලියෝ සහ HPV වැනි අත්‍යවශ්‍ය එන්නත් රැසක් සඳහා මීට පෙර මෙම සහාය හිමි විය. කෙසේ වෙතත්, එන්නත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ නව හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට රජය අපේක්ෂා කරන බවද වාර්තා වේ.













