දිවයින පුරා පාසල්වල පවතින පරිගණක, බහුමාධ්‍ය ප්‍රක්ෂේපක සහ සුහුරු පුවරු ඇතුළු ඩිජිටල් අධ්‍යාපනික උපකරණ නඩත්තු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත්, ඒ සඳහා කැපවන ගුරුවරුන්ගේ ගමන් වියදම් සහ දීමනා ලබා දීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත් පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
පාසල් මට්ටමින් දෘඪාංග හා ජාලකරණ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා දැනටමත් විශේෂ පුහුණුව ලත් ගුරු සංචිතයක් පිහිටුවා ඇති අතර, පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස 2026 ඔක්තෝබර් මාසයේදී තවත් පිරිසකට ඒ සඳහා පුහුණුව ලබාදීමට නියමිතය. මීට අමතරව, ඩිජිටල් යටිතල පහසුකම් අලුත්වැඩියාව සඳහා අමාත්‍යාංශය මඟින් පළාත් වෙත අමතර මුදල් ප්‍රතිපාදන ලබා දී ඇති බවත්, වගකීම් කාලය අවසන් වූ උපකරණ අවම මිල ගණන් යටතේ අලුත්වැඩියා කිරීමට හා සිසුන්ද එම කටයුතු සඳහා පුහුණු කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
















