ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) සහ ඇල්කඩුව වැවිලි සමාගම යන රාජ්‍ය වැවිලි ආයතන තුනෙහි සේවය කර විශ්‍රාම ගිය සහ දැනට සේවයේ නිරත 10,000කට අධික සේවක පිරිසකට වසර 20කට වැඩි කාලයක් පුරා නොගෙවා තිබූ රුපියල් මිලියන 4,500කට අධික ව්‍යවස්ථාපිත හිඟ මුදල් (EPF/ETF) කඩිනමින් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. වැවිලි හා ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ කැබිනට් මණ්ඩලය විසින් මෙම අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයන් 3,000ක් සඳහා රුපියල් මිලියන 1,961ක්ද, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයන් 6,123ක් සඳහා රුපියල් මිලියන 2,024ක්ද සහ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවකයන් 1,000ක් සඳහා රුපියල් මිලියන 503කට අධික මුදලක්ද මෙලෙස ගෙවීමට නියමිතය. මෙම හිඟ දීමනා ගෙවීමේ සමාරම්භක උළෙල එළඹෙන සැප්තැම්බර් 10 වන දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍යවරුන් වන සමන්ත විද්‍යාරත්න සහ අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
















