ඉදිරි මාස හය ඇතුළත වාහන අංක තහඩු ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් වන බවත්, ඉන් පසු අලුතින් ලියාපදිංචි කරන සෑම වාහනයකටම දින හතක් ඇතුළත අංක තහඩු ලබාදීමට කටයුතු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මගී ප්‍රවාහනය කරන සියලුම වාහන කිලෝමීටර 5,000කට වරක් හෝ මාස තුනකට වරක් යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කළ යුතු බව පෙන්වා දුන් කොමසාරිස් ජනරාල්වරයා, ධාවනයට නුසුදුසු වාහන රැසක් මෙහිදී අනාවරණය වී ඇති බව සඳහන් කළේය. ආයතනය තුළ පැවති දූෂණ වැළැක්වීමට සහ තැරව්කරුවන් ඉවත් කිරීමට දැඩි පියවර ගෙන ඇති බවත්, නව ක්‍රියාවලිය යටතේ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජනතාවට පහසුවෙන් සේවා ලබා ගැනීමට හැකි වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














