උත්සව අවස්ථාවකදී දේශපාලනඥයෙකු විසින් සාම්ප්‍රදායික නර්තන ඇඳුමකින් සැරසී සිටි කුඩා දැරියකගේ ශරීරය ස්පර්ශ කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්, දරුවන්ගේ පෞද්ගලික සීමාවන්ට සහ කැමැත්තට ගරු කිරීමේ වැදගත්කම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සටහනක් තබමින් ‘Stop Child Cruelty Trust’ සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය පෙන්වා දෙන්නේ, ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන රටක දරුවන් කෙතරම් අනාරක්ෂිත ද යන්නට මෙම හැසිරීම කදිම නිදසුනක් බවයි.
සාම්ප්‍රදායික “හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය” යන වර්ගීකරණයට එහා ගොස්, යම් ස්පර්ශයකට අකමැති වීමට හෝ “එපා” යැයි කීමට දරුවාට ඇති අයිතිය සුරැකිය යුතු බව ඇය අවධාරණය කරයි. මෑතකදී ළමා අයිතිවාසිකම් පෙත්සමක් භාරදුන් අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරුවෙකුගේ උරහිසට අත තැබීමට පෙර “කමක් නැද්ද?” යැයි අවසර පැතීම දරුවෙකුගේ පෞද්ගලික සීමාවන්ට ගරු කිරීමේ ආදර්ශවත් ප්‍රවේශයක් ලෙස ඇය පෙන්වා දී තිබේ. එබැවින්, දරුවන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ආකාරය පිළිබඳව වැඩිහිටියන් සහ දේශපාලනඥයන් ප්‍රථමයෙන් දැනුවත් විය යුතු අතර, වයසට ගැළපෙන ලිංගිකත්ව අධ්‍යාපනය පාසල් විෂය මාලාව තුළ වහාම අනිවාර්ය කළ යුතු බව ද ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියි.














