නේපාලයේ භෝටේ කොෂි (Bhote Koshi) ගංඟාව පිටාර ගැලීමෙන් සිදු වූ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක (USD 1 Million) මූල්‍ය ආධාර ප්රදානය කර තිබේ.
අගෝස්තු 26 වැනිදා ඇති වූ මෙම ගංවතුර හා නායයෑම් හේතුවෙන් නේපාලයේ රසුවා, නුවාකොට් සහ ධාඩිං යන දිස්ත්‍රික්කවලට දැඩි හානි සිදු විය. අදාළ මූල්‍ය ආධාරය නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි රුවන්ති දෙල්පිටිය මහත්මිය විසින් අද (සැප්තැම්බර් 09) කත්මණ්ඩු නුවර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛනාල් (Shisir Khanal) මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කනගාටුව සහ සහයෝගීතාව ප්‍රකාශ කරමින් මෙම ආධාර ප්රදානය කළ බවයි.














