ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (සැප්තැම්බර් 09) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කඳුරට ප්‍රදේශවල හින්දු කෝවිල්වල පරිපාලන කටයුතු, දහම් පාසල් පවත්වාගෙන යාම, කෝවිල් ඉඩම් හා ආගමික ස්ථාන සම්බන්ධ ගැටලු මෙන්ම පූජකවරුන්ගේ සුබසාධන අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි. එමෙන්ම, ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සඳහා රජයේ සහාය ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙම හමුව සඳහා ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ශිවශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ආගමික නායකයන් පිරිසක් එක්ව සිටියහ.














