නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ඉදිරිපත් වී ඇති සාක්ෂි කිසිසේත්ම විශ්වාසදායක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.
අද (සැප්තැම්බර් 09) පස්වරුවේ මහනුවරදී මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. වත්මන් රජය සිය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමේ අරමුණින් දූෂණ විරෝධී නීති අවභාවිත කරමින් සිටින බවට ද කාරියවසම් මහතා මෙහිදී දැඩි ලෙස චෝදනා කළේය. නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාමාර්ගවලදී ඉදිරිපත් වන සාක්ෂි පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අබේකෝන් යන මහත්වරුන් ද එක්ව සිටියහ.














