රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (සැප්තැම්බර් 09) පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස 6 සහ මාස 12 කල්පිරෙන බිල්පත් සඳහා වන ඵලදාව (නියමිත පොලී අනුපාත) පහළ ගොස් ඇති අතර, මාස 3 බිල්පත් ඵලදාව සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
වෙළෙඳපොළ වාර්තාවලට අනුව මෙවර වෙන්දේසියේදී දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා පැවැති ඉල්ලුම යම් තරමකින් පහත වැටී ඇත. මාස 3 බිල්පත් ඵලදාව පදනම් අංක 7කින් ඉහළ ගොස් 9.03%ක් වූ අතර, පිරිනැමූ රුපියල් බිලියන 35න් අලෙවි වී ඇත්තේ රුපියල් බිලියන 17.47ක් පමණි. මාස 6 ඵලදාව පදනම් අංක 3කින් පහළ බැස 9.24%ක් (රු. බිලියන 25ක නිකුතුවට රු. බිලියන 28.63ක් අලෙවි විය) වූ අතර, මාස 12 ඵලදාව පදනම් අංක 4කින් පහළ ගොස් 9.77%ක් (රු. බිලියන 20ක නිකුතුවට රු. බිලියන 33.88ක් අලෙවි විය) ලෙස සටහන් විය.














