නාවලපිටිය තැපැල් කාර්යාලය අසල ආපනශාලාවක් පවත්වාගෙන යමින්, එමඟින් පාසල් දරුවන් සහ ටියුෂන් සිසුන් ඉලක්ක කර හෂීස් මත්ද්‍රව්‍ය අලෙවි කළ ජාවාරම්කරුවෙක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙනැවිත් කුඩා පැකට් සකස් කර ඒවා අලෙවි කර ඇති අතර, සැකකරුගේ ආපනශාලාව තුළදීම ඒවා පානය කිරීමට පහසුකම් සපයා දී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම ආපනශාලාව අසල විශාල වශයෙන් පාසල් දරුවන් සහභාගී වන උපකාරක පන්ති පිහිටා ඇති අතර, බාල වයස්කාර දරුවන් ඉලක්ක කර මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ. නාවලපිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති චතුරංග චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ මෙම වැටලීමේදී ඉතිරිව තිබූ හෂීස් ප්‍රමාණයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.














