මොරගහේන, කරගහදෙනිය ප්රදේශයේදී වෛද්ය ප්රතිකාර ලබා නොගෙන නිවෙසේ සිට යාඥා බලයෙන් රෝගී තත්ත්වයක් සුව කර ගැනීමට උත්සාහ කළ 51 හැවිරිදි කාන්තාවක් මියගොස් දින කිහිපයකට පසු සොයාගෙන තිබේ. නිවෙසින් දුගඳක් හමන බවට ලද තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මරදාන ප්රදේශයේදී සිදු වූ අනතුරකින් අංශභාගය වැනි තත්ත්වයකට පත්ව සිටි ඇය රෝහල්ගත නොවී සැමියා සමඟ එක්ව නිවෙසේ දේව මෙහෙයන් පවත්වමින් සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිසිය විසින් සිරුර සොයා ගන්නා විටත් ඇය මියගොස් දින දෙකක් පමණ ගත වී ඇති බවට සැක කෙරෙන අතර, මෘත දේහය හෝමාගම රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහේන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
















