ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින්, දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික සහ මානුෂීය ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. පලස්තීනයේ රාමල්ලා නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී ෆාරුක් මොහොමඩ් ෆව්සර් මහතා සහ රාමල්ලා සහ අල්-බිරේ හි ආණ්ඩුකාර ආචාර්ය ලයිලා ඝානම් මහත්මිය අතර පැවති නිල හමුවකදී මෙම එකඟතාව ඇති කරගෙන ඇත.
පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව දශක පහක් පුරා දැක්වූ ස්ථාවර සහයෝගය මෙහිදී යළිත් අවධාරණය කර ඇති අතර, ගාසා තීරයේ මානුෂීය සහයෝගීතාව සහ එක්සත් ජාතීන්ගේ ආපදා සහ සහන ඒජන්සියට (UNRWA) ලබා දෙන දායකත්වය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දන්වා තිබේ. තවද, රාමල්ලාහි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම, ශ්‍රී ලංකා අපනයන ප්‍රදර්ශනය 2027 (Sri Lanka Expo 2027) හරහා වෙළඳ සහ ව්‍යාපාරික සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.















