විදේශ රැකියාවල නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස මරණයට පත්වන විගමණික ශ්‍රමිකයන්ගේ පවුල් වෙත ලබාදෙන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. විදේශ රැකියාවලදී මරණයට පත් වූ ශ්‍රමිකයන් පිරිසකගේ ඥාතීන් වෙත වන්දි මුදල් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
මීට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබා දුන් රුපියල් ලක්ෂ හයක වන්දි මුදල වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙලෙස එය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන විදේශගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් අඩු පොලී යටතේ නිවාස ණය පහසුකම්, ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන් ඇතුළු සුබසාධන ක්‍රමවේද රැසක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.













