“පරිශුද්ධ ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ “Dream Destination” ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) විවෘත කරන ලදී.
ඩාවුඩි බොහ්රා ප්‍රජාවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් රුපියල් මිලියන 60 ක වියදමින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මාර්තු 19 වන දින ආරම්භ කර මාස පහක් වැනි කෙටි කාලයක් තුළ සාර්ථකව නිම කර ඇත. දුම්රිය ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ල, වේදිකා, වැසිකිළි පද්ධති, විදුලි හා ජල පද්ධති, සීසීටීවී (CCTV) ආරක්ෂක කැමරා පද්ධතිය මෙන්ම නවීන ආපන ශාලාවක් සහ අධිවේගී මාර්ගය දුම්රිය මාර්ගය සමඟ සම්බන්ධ කරන උඩ පාලමක් ද මෙම නවීකරණය යටතේ ඉදිකර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, රජයේ මහා පරිමාණ ප්‍රවාහන සංවර්ධන යටතේ මරදාන සහ මකුඹුර අතර විදුලි දුම්රිය සේවයක් ආරම්භ කිරීම, කැළණි වැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම සහ හයිලෙවල් මාර්ගය මංතීරු හතරක් දක්වා පුළුල් කිරීමේ අපේක්ෂාවන් ද පැහැදිලි කළේය. තල්පේ, නාරාහේන්පිට, මරදාන සහ පොළොන්නරුව යන දුම්රිය ස්ථාන ද මීට පෙර මෙම වැඩපිළිවෙළ යටතේ නවීකරණය කර ජනතා අයිතියට පත් කර ඇත.













