දෙහිවල, සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට අද (11) අලුයම එල්ල වූ අත්බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී, ප්රහාරය සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්රිරෝද රථයක් ඉහළ බෝපේ ප්රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරු ත්රිරෝද රථයකින් පැමිණ නිවස අසලට පැමිණෙන ආකාරය සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ අනාවරණය කරගෙන ඇති බවයි.
අද අලුයම 3.00ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් අදාළ නිවසට පැමිණ එහි දොරට තට්ටු කර ඇති අතර, නිවැසියන් විසින් දොර විවෘත කිරීමෙන් අනතුරුව සැකකරු නිවස තුළට අත්බෝම්බයක් එල්ල කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ප්රහාරයෙන් නිවසේ නිදා සිටි 11 හැවිරිදි සහ 17 හැවිරිදි දරුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, පසුව ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. එම ප්රහාරයෙන් ඔවුන්ගේ 55 හැවිරිදි පියාගේ පාදයකටද තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
කෙසේ වෙතත්, ප්රහාරයට ලක් වූ පවුලේ පියා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බවද පොලීසිය සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්රාත් පරීක්ෂණය අද උදෑසන සිදුකර ඇති අතර, බෝම්බ ප්රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇති අතර, සීසීටීවී දර්ශන සහ සොයාගත් ත්රිරෝද රථය ඇතුළු කරුණු ඔස්සේ පොලීසිය විමර්ශන සිදුකරමින් පවතී.














