නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2027 වසරේ සිට 6 වන ශ්‍රේණිය සඳහා මොඩියුල පාදක ඉගෙනුම් ක්‍රමයක් හඳුන්වා දීම හරහා පාසල් සිසුන්ගේ බෑගවල බර සැලකිය යුතු ලෙස අඩු කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළ අතර, මෙම ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දෙනු ලබන ක්‍රියාකාරකම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලිය හේතුවෙන් සිසුන්ට නිවස සහ පාසල අතර රැගෙන යාමට සිදුවන පොත් සංඛ්‍යාව පහළ යනු ඇත. යෝජිත ක්‍රමවේදය යටතේ පන්ති කාමර කටයුතු සඳහා භාවිත කෙරෙන පොත් පාසල තුළම තබා ගැනීමට පහසුකම් සපයන බැවින්, දෛනිකව ඒවා දෙපසට රැගෙන යාමේ අවශ්‍යතාව මතුවන්නේ නැත. සිසුන්ට සිය වැඩකටයුතු අවසන් කරමින් අදාළ පොත් නිවෙස් වෙත රැගෙන යාමට හැකි වන්නේ වාරය අවසානයේදී පමණක් වන අතර, විශාල පෙළපොත් වෙනුවට එක් එක් වාරයට අදාළ විෂය මාලා මොඩියුල පමණක් සිසුන්ට ලබා දීමට නියමිතය.















