2026 ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිල වශයෙන් නම් කර තිබේ.
ක්‍රීඩා විෂයයන් 25ක් යටතේ තරඟ වැදීම සඳහා නම් කර ඇති මෙම සංචිතයට පුරුෂ ක්‍රීඩකයින් 100 දෙනෙක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 56 දෙනෙක් ඇතුළත් වෙති. පිහිනුම් සහ කිමිදුම්, දුනු ශිල්පය, කලාත්මක ජිම්නාස්ටික්, ජුඩෝ, බෝට්ටු පැදීම, රග්බි සෙවන්ස්, මේස පන්දු, ස්කොෂ්, බර ඉසිලීම, මල්ලවපොර, 3×3 පැසිපන්දු, වුෂු, කබඩි, වෙරළ වොලිබෝල්, මලල ක්‍රීඩා, බොක්සිං, කරාටේ, යාත්රාපැදීම, ටේක්කොන්ඩෝ, සර්ෆින්, බැඩ්මින්ටන්, ක්‍රිකට්, ගොෆ්, නූතන පංච ප්‍රභේදය සහ හොකී යන ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම පිරිස සහභාගී වේ. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම කණ්ඩායම නිල වශයෙන් හඳුන්වා දුන් අතර, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, අමාත්‍යාංශ ලේකම් ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් එස්. අචුතන්, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග සෙනවිරත්න සහ මහලේකම් රිෆ්ඩි ෆාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා දූත පිරිසෙහි ප්‍රධාන මෙහෙයුම් ප්‍රධානියා (Chef de Mission) ලෙස ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා ද, නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් ප්‍රධානියා ලෙස අශෝක් ජයකුමාර් මහතා ද කටයුතු කරනු ලබයි.














