යේමනයේ රතු මුහුදු වෙරළ තීරය සම්පූර්ණයෙන්ම තම පාලනයට යටත් කර ගැනීමට ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෝචා වරාය නගරය සහ මයියුන් දූපත අත්පත් කර ගැනීමෙන් අනතුරුව හූතිවරුන් රතු මුහුදු වෙරළ තීරයේ සිය පාලනය තවදුරටත් පුළුල් කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට හූති සටන්කාමීන් අප්‍රිකානු වෙරළ තීරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් ස්ථානගතව සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව, රතු මුහුද සහ ඒඩන් බොක්ක සම්බන්ධ කරන ලෝකයේ වැදගත්ම උපායමාර්ගික සමුද්‍ර මාර්ගයක් වන බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්ද හූතිවරුන්ගේ බලපෑම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර හූතිවරුන් සහ සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා අතර දරුණු ගැටුම් තවදුරටත් පවතින බව සඳහන්ය.
පසුගිය පැය 24 තුළ පමණක් යේමනයේ සිට සරණාගතයන් 2,000කට වැඩි පිරිසක් දේශසීමාව හරහා ජිබුටි රාජ්‍යයට පලා ගොස් ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය පවසයි.
යේමන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ජිබුටියේ ඔබොක් නගරයට පැමිණෙන සරණාගතයන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබාදීමට පියවර ගනිමින් පවතින බවද වාර්තා වේ.
















