අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකින් හදිසි ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් පවුල් 8කට අයත් පුද්ගලයින් 25 දෙනෙකු ආපදාවට ලක් වී ඇති අතර, ඔවුන් දැනට නාවලපිටිය බව්වාගම විද්‍යාලයේ තාවකාලිකව රඳවා තබා අදාළ අවතැන් වූ පිරිස් වෙනුවෙන් කඩිනම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.
ගත වූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනයක් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයෙන් (මිලිමීටර් 119ක් ලෙස) වාර්තා වී ඇති අතර, හංවැල්ල, ඇල්පිටිය, නෙළුව, දුන්හින්න, වතුරවිල්ල සහ නාඋල යන ප්රදේශවලටද මිලිමීටර් 50ත් 119ත් අතර වර්ෂාපතනයක් ලැබී තිබේ. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, පවතින එල් නීනෝ (El Niño) කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක (අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර) පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු දැඩි වියළි කාලගුණික තත්ත්වයන් නිසා පීඩාවට පත්ව සිටී. ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පවුල් 43,221කට වැඩි පිරිසක් වෙත මේ වන විට අඛණ්ඩව පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි නියඟය මෙන්ම තවත් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය යන තත්ත්වයන් දෙකටම මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පූර්ව සූදානමින් සිටින බව පෙන්වා දෙන බලධාරීහු, කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයාම් පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිති. යම් හදිසි ආපදා තත්ත්වයක් පැවතුනහොත් ඒ පිළිබඳව වහාම දැනුම්දීම සඳහා 117 ක්ෂණික දුරකථන අංකය අමතන ලෙසද දැනුම් දෙනු ලැබේ.














