ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිකරණයේ වැදගත් අදියරකට පැමිණ ඇති පසුබිමක රාජ්‍ය හා පෞද්ගලික අංශ ඩිජිටල්කරණයට වැඩි අවධානයක් යොමු කරමින් සිටී. මේ අතර ගෝලීය පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ මෘදුකාංග සමාගමක් වන Salesforce විසින් සිය පළමු Innovation Day වැඩසටහන කොළඹදී පසුගිය අගෝස්තු 31 වැනිදා පවත්වා තිබේ.
Salesforce ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා කළමනාකාර අධ්‍යක්ෂ මන්කිරන් චෞහාන් මහත්මිය සඳහන් කර ඇත්තේ කෘත්‍රිම බුද්ධිය තවදුරටත් අත්හදා බැලීමේ අදියරක නොමැති බවත්, ව්‍යාපාර සඳහා මැනිය හැකි සැබෑ වටිනාකමක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්ය.
ඇය පෙන්වා දෙන්නේ AI තාක්ෂණය භාවිත කිරීමේදී අලංකාර අන්තර්ගත නිර්මාණය කිරීම වැනි මතුපිටින් පෙනෙන භාවිතයන්ට වඩා, සමාගම්වල ආදායම ඉහළ නැංවීම හෝ පිරිවැය අඩු කිරීම වැනි සැබෑ ව්‍යාපාරික ගැටලු විසඳීමට එය යොදාගැනීම වැදගත් බවයි.
Salesforce ආයතනය තුළද ස්වයංක්‍රීය සේවා නියෝජිතයන් භාවිත කර පුනරාවර්තන පාරිභෝගික විමසීම් කළමනාකරණය කිරීමෙන් පළමු ඇමතුමේදීම ගැටලු විසඳීමේ අනුපාතය 86%ක් දක්වා ළඟා කරගෙන ඇති බව ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනය කිරීමට ඇති ප්‍රධාන බාධාවක් ලෙස විවිධ පද්ධති අතර පවතින දත්ත වෙන්වීමද ඇය පෙන්වා දී තිබේ. සමාගම් විවිධ මෘදුකාංග පද්ධති වෙන වෙනම භාවිත කිරීම හේතුවෙන් දත්ත එකිනෙක සම්බන්ධ නොවීම ව්‍යාපාරික තීරණ ගැනීමේදී ගැටලු ඇති කරන බව ඇය සඳහන් කළාය.
දත්ත එකිනෙක සම්බන්ධ කිරීම මඟින් පාරිභෝගිකයා පිළිබඳ වඩාත් සම්පූර්ණ අවබෝධයක් ලබාගත හැකි බවද ඇය පෙන්වා දී තිබේ. උදාහරණයක් ලෙස එකම පාරිභෝගිකයෙකු විවිධ පද්ධතිවල විවිධ නම්වලින් සටහන් වී තිබුණද, සම්බන්ධිත දත්ත පද්ධතියක් හරහා ඔහු හෝ ඇය එකම පාරිභෝගිකයෙකු බව හඳුනාගැනීමට හැකි වේ.
එමඟින් පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ රටා, පක්ෂපාතිත්වය සහ අවශ්‍යතා වඩාත් හොඳින් අවබෝධ කරගෙන සේවාවන් වැඩිදියුණු කිරීමට ව්‍යාපාරවලට හැකියාව ලැබෙන බව Salesforce පෙන්වා දෙයි.














