ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එස්.එස්.සී. (SSC) සහ එන්.සී.සී. (NCC) කණ්ඩායම් අතර පැවැති ප්‍රධාන පෙළේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩක චමික ගුණසේකර මහතා බරපතල ලෙස ආබාධයකට ලක්වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනයේ වෛද්‍ය සහ හදිසි ප්‍රතිකාර පහසුකම් පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී තිබේ. පන්දු යැවීමේදී අසමතුලිත ලෙස බිමට පතිත වීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ ක්‍රීඩකයාට ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සහ ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට වෛද්‍යවරයකු, ගිලන්රථයක් (Ambulance) තබා අවම වශයෙන් ස්ට්‍රෙචරයක් හෝ එහි නොමැති වීම දැඩි කම්පනයට හේතු වී ඇත.
එම අවස්ථාවේ ක්‍රීඩාංගණයේ සිටි නිලධාරියකු සහ ක්‍රීඩකයින් මාධ්‍ය වෙත හෙළි කර ඇත්තේ, බරපතල තුවාල ලැබූ චමික ගුණසේකර රෝහල වෙත රැගෙන යාම සඳහා විනාඩි 45කට අධික කාලයක් ගත වූ බවත්, ක්‍රීඩාංගණයේ නිසි හදිසි උපකරණ නොමැති වීම නිසා ක්‍රීඩකයින් රැගෙන යාම සඳහා සම්මත ස්ට්‍රෙචරයක් වෙනුවට ශරීර මසාජ් කරන ඇඳක් (massage bed) තාවකාලික ආධාරකයක් ලෙස භාවිත කිරීමට සිදුවූ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය සහ අධි ක්‍රියාකාරී මධ්‍යස්ථානය (High Performance Center) ද පිහිටා ඇති ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වීම දේශීය ක්‍රිකට් ක්ෂේත්රයේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇත.
මෙම අර්බුදයත් සමඟ දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ හදිසි වෛද්‍ය පහසුකම් තහවුරු කිරීමේ වගකීම දැරිය යුතු බලධාරීන්ගේ අවම ප්රමිතීන් පිළිබඳව ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩකයින් දැඩි නොසතුට පළ කර සිටිති.
















