හය ශ්‍රේණිය මෙන්ම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාසල් පද්ධතිය තුළ සහ ගුරුවරුන් අතර තවදුරටත් බරපතල ගැටලු සහ නොවිසඳුණු තත්ත්වයන් පවතින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළ අතර, රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත සිසුන් ඇතුළත් කර නොගනිමින් පවතින අර්බුදයක් මධ්‍යයේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම අතිශයින් කනගාටුදායක තත්ත්වයක් බවද හෙතෙම එහිදී අවධාරණය කළේය.
නව ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේදී පළමු, දෙවන සහ හය ශ්‍රේණි සඳහා යම් වෙනස්කම් සිදු කිරීමට නියමිත බව බලධාරීන් ප්‍රකාශ කළද, ක්‍රියාත්මක වන ආකාරය සහ ලබා දී ඇති මොඩියුල (Modules) සම්බන්ධයෙන් ගුරුවරුන් නිසි ලෙස දැනුවත් කර නොමැති බව ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේය. ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුල හැර අනෙකුත් මොඩියුලවල කිසිදු වෙනසක් සිදුව නොමැති බවත්, ජාතික අධ්‍යාපන කොමිසම විසින් නව ප්‍රතිපත්ති රාමුව සකස් කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි පැවසුවද, ඒ සඳහා මහජනතාවගේ හෝ අදාළ පාර්ශ්වවල සැබෑ අදහස් ලබාගෙන නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් චෝදනා කළේය.
අධ්‍යාපන අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා විවිධ අවස්ථාවල අධ්‍යාපන පරිවර්තනයන් ගැන කතා කළද, ප්‍රායෝගික මට්ටමින් පවතින මෙම ගැටලු විසඳීම සඳහා රජයේ ස්ථාවරය කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි නැති බව ගුරු සංගමය පෙන්වා දෙයි.
















