ඉදිරි වසර 10-15 තුළ ශ්‍රී ලංකාවේ අනාගතය භාරගැනීමේ ප්‍රධාන වගකීම Gen Z සහ ඇල්ෆා පරම්පරාව වෙත පැවරෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
සමාජවාදී තරුණ සංගමය විසින් දිවයින පුරා පවත්වනු ලබන ‘යූත් සමිට්’ වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසන සමුළුව ඊයේ (13) පෑලියගොඩ රෝයල් බෝට් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු ජනතාවට සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සඳහා ගම්, කොට්ඨාස, ආසන, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් තරුණයන් සංවිධානය කිරීම සමාජවාදී තරුණ සංගමයේ වගකීමක් බවයි.
අතීතයේ පැවති අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලවලට වඩා වර්තමාන තරුණ පරම්පරාව හමුවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සහ ආණ්ඩුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අරගලයක් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, පසුගිය පාලන සමයන්හි සිදුවූ බවට චෝදනා එල්ල වන වංචා හා දූෂණ සම්බන්ධයෙන් වත්මන් රජය සිදුකරන විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග වෙනුවෙන් තරුණ පරම්පරාව සක්‍රියව පෙළගැසිය යුතු බවද ඔහු සඳහන් කළේය.
වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 1957 වසරෙන් පසුව ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයවැය ලේඛනයේ ආදායම් සහ වියදම් අතර පරතරය අවම මට්ටමකට ගෙන ඒමට රජය සමත් වී ඇති බවයි.
2025 වසර සඳහා අපේක්ෂිත රුපියල් බිලියන 4,990ක ආදායම ඉක්මවා රුපියල් බිලියන 5,500ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, රාජ්‍ය ආදායම ජාතික ආදායමෙන් 16.3%ක් දක්වා වර්ධනය කරගෙන ඇති බවත්, නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනඟමින් ජනතාව නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කර එහි ප්‍රතිලාභ සාධාරණව බෙදාදීම රජයේ අරමුණ බවත් ඔහු පැවසීය.
















