ශ්‍රී ලංකා ගුවන් සේවය (SriLankan Airlines) වෙත ආරක්ෂිත, ඔරොත්තු දෙන සහ කාර්යක්ෂම ගෝලීය ජාල යටිතල පහසුකම් වේදිකාවක් සැපයීම සඳහා වන වසර පහක කොන්ත්‍රාත්තුව ස්විට්සර්ලන්තයේ ‘SITA Switzerland SARL’ සමාගම වෙත ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 2026 ඔක්තෝබර් 01 දින සිට 2031 සැප්තැම්බර් 30 දක්වා කාලය ආවරණය වන පරිදි මෙම ගිවිසුම ක්‍රියාත්මක වේ.
මගී සේවා, පිටත්වීම් පාලනය, ප්‍රවේශපත්‍ර සහ වෙන්කිරීම්, භාණ්ඩ කළමනාකරණය සහ ගුවන්තොටුපළ පර්යන්ත මෙහෙයුම් ඇතුළු ගුවන් ගමන් සේවාවන්හි තීරණාත්මක පද්ධති එකිනෙක සම්බන්ධ කිරීම සඳහා මෙම නව ජාල පද්ධතිය අත්‍යවශ්‍ය වේ. පවතින සේවා ගිවිසුම අවසන් වීමත් සමඟ ජාත්‍යන්තර තරඟකාරී ලංසු තැබීමේ ක්‍රමවේදය යටතේ මෙම ටෙන්ඩරය කැඳවා ඇති අතර, ඒ සඳහා ඉදිරිපත් වූ එකම ලංසුව වන ‘SITA’ සමාගමේ යෝජනාව ඉහළ පෙළේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.














