මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වෙඩි තැබීමේ සිද්ධි 37ක් වාර්තා වී ඇති බවත්, එම සිද්ධි හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 2026 සැප්තැම්බර් 10 දක්වා කාලය තුළ ටී-56 ගිනි අවි 14ක්, පිස්තෝල 31ක්, රිවෝල්වර 25ක් සහ වෙනත් අවි 797ක් ඇතුළුව සමස්ත ගිනිඅවි සහ ආයුධ 867ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. පසුගිය 2025 වසරේ මාස 12 තුළ පමණක් මුළු ගිනිඅවි 2,404ක් පොලිස් භාරයට ගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී දෙහිවල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, ප්‍රධාන සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය.














