වේගවත් නාගරීකරණය සහ විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ස්වභාවික ජල ධාවන රටාවන් බිඳ වැටී ඇති පිළියන්දල – කැස්බෑව බයිපාස් මාර්ගය (120 වැනි මාර්ගය) ආශ්‍රිතව මතුව ඇති ගංවතුර අවදානම පාලනය කිරීම සඳහා නව වැසි ජල ජලාපවහන සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජයේ අනුමැතිය හිමි වී තිබේ. පිළියන්දල බස් නැවතුම්පළ ඉදිකිරීම ඇතුළු පසුගිය දශකයේ සිදු වූ නාගරීකරණ කටයුතු නිසා පහත් බිම් හා වෙල් යාය පිරී යාමෙන් ජලය රඳවා ගැනීමේ ස්වභාවික හැකියාව අඩුවී ඇති අතර, සුළු වර්ෂාවකදී වුවද ප්‍රදේශයේ ජල ගැලීම් ඇති වීමේ ප්‍රවණතාවක් හඳුනාගෙන ඇත.
මෙම ගැටලුවට විසඳුම් ලබා දීම පිණිස, පවතින ජලාපවහන පද්ධති උසස් කිරීම, ඇළ ඉවුරු බැඳීම, බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම සහ අලුතින් සෑදීම, ජලය රඳවා ගැනීමේ කලාප ස්ථාපිත කිරීම මෙන්ම සංවේදී පාරිසරික ප්‍රදේශ නම් කිරීම වැනි විශේෂ අංශ කෙරෙහි මෙම ව්‍යාපෘතිය යටතේ අවධානය යොමු කෙරේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ විධිමත් අනුමැතිය ලැබී තිබේ.














