2025 නොවැම්බර් මාසයේ අගදී ඇති වූ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ බ්ලැක්පූල් – අම්බේවෙල – පට්ටිපොළ – හෝටන් තැන්න මාර්ගයේ (B 512) කිලෝමීටර් 5+200 සිට කිලෝමීටර් 12+000 දක්වා වන කොටස ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ජාතික තරගකාරී ලංසු තැබීමේ ක්‍රමවේදය යටතේ කැඳවන ලද මෙම ටෙන්ඩරය සඳහා ලංසු හතරක් ලැබී ඇති අතර, ඉන් අඩුම සහ සුදුසුම ලංසුකරු ලෙස තෝරාගත් ‘M/S Asset Engineering (Pvt) Ltd’ ආයතනය වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ඉහළ පෙළේ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත.
මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බදු රහිතව රුපියල් මිලියන 791.68 ක මුදලක් වැය කිරීමට නියමිතය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස විධිමත් අනුමැතිය ලබා දී තිබේ.














