ශ්‍රී ලංකාවේ ජනප්‍රිය හා කීර්තිමත් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලියක් වන 16 වන “ගනර් සුපර්ක්‍රොස් 2026” තරගාවලිය සැප්තැම්බර් 27 වැනිදා මින්නේරියේ පිහිටි කාලතුවක්කු රෙජිමේන්තු බොරළු ධාවන පථයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලිය එදින පෙරවරු 9.00ට ආරම්භ කිරීමට නියමිත අතර, තරගාවලියට අදාළ කාලගණනය සහ පුහුණු ධාවන කටයුතු සැප්තැම්බර් 26 වැනිදා පැවැත්වේ.
ශ්‍රී ලංකා ඔටෝස්පෝර්ට්ස් රියැදුරු සංගමය (SLADA) සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයේ ප්රමුඛ තරගාවලියක් ලෙස “ගනර් සුපර්ක්‍රොස්” තරගාවලිය පැවැත්වී ඇති අතර, මෙරට ප්රමුඛ පෙළේ මෝටර් රථ සහ මෝටර් ක්‍රොස් යතුරුපැදි ධාවකයන් රැසක් මෙවරද ඊට එක්වීමට නියමිතය.
මෙවර තරගාවලිය සඳහා මෝටර් රථ තරගකරුවන් 90කට ආසන්න සංඛ්‍යාවක් සහ යතුරුපැදි තරගකරුවන් 110කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ.
ඒ අනුව අධිවේගී ධාවන, තියුණු තරගකාරීත්වය සහ ධාවකයන්ගේ දක්ෂතා දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට මෙවරත් අවස්ථාව හිමිවනු ඇත.
තරග නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර තරග භූමියේ ප්‍රධාන පිවිසුම අසල පිහිටි නියමිත ප්‍රවේශපත්‍ර කවුළුවලින් ලබාගත හැකිය.
Grand Stand ප්‍රවේශපත්‍රයක් රුපියල් 5,000ක් වන අතර High Elevated Stand සඳහා රුපියල් 2,000ක්ද, Red Stand සඳහා රුපියල් 1,000ක්ද, Public Area සඳහා රුපියල් 300ක්ද අය කෙරේ.
පුද්ගලයන් 10 දෙනෙකු සඳහා VIP Box එකක මිල රුපියල් 50,000ක් වන අතර එයට Box පහසුකම්ද ඇතුළත් වේ.
ප්‍රේක්ෂකයන්ට අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වාගෙන පහසු ස්ථානයක් ලබාගැනීම සඳහා හැකි ඉක්මනින් තරග භූමියට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටී.














