යේමනයේ මාරිබ් පළාතට ඉහළ අහසේ මෙහෙයුමක නිරත වූ සෞදි අරාබියට අයත් F-15 ප්රහාරක යානයක් තමන් විසින් බිම හෙළූ බව හූති සන්නද්ධ කණ්ඩායම ප්රකාශ කර තිබේ. හූති හමුදා ප්රකාශක Yahya Saree පවසන්නේ දේශීයව නිෂ්පාදිත ගුවන් යානා නාශක මිසයිලයක් යොදාගෙන මෙම ප්රහාරය සිදුකළ බවයි.
හූතිවරුන් විසින් මෙම ප්රකාශයට අදාළ වීඩියෝ දර්ශනද නිකුත් කර ඇති අතර, එහි රාත්රී අහසේ සිදුවීමක් සහ පසුව ගිනිගෙන ඇති ගුවන් යානා සුන්බුන් බවට පැවසෙන කොටස් දැක්වේ. ඇතැම් සුන්බුන්වල සෞදි අරාබියානු ධජ සලකුණක්ද දැකගත හැකිය.
කෙසේවෙතත් යානය F-15 වර්ගයේ එකක් බව සහ එය හූති ප්රහාරයකින් බිම හෙළූ බව ස්වාධීනව තහවුරු වී නොමැත. සෞදි අරාබියද F-15 යානයක් අහිමි වූ බව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.














