දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ “Ceylon King Coconut Village – 250” ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (18) පස්සර, තොලබෝවත්ත ප්‍රදේශයේදී ආරම්භ කර තිබේ. ජාතික වැඩසටහනේ පළමු අදියර සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ කෙරුණු අතර, වසර තුනක් තුළ ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
බදුල්ල වැඩසටහනේදී සංකේතාත්මකව තැඹිලි වගාකරුවන් වෙත තැඹිලි පැළ 500ක් බෙදාදීම සහ පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන්ට චෙක්පත් ලබාදීම සිදුකර තිබේ.
වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ 2030 වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම සහ තැඹිලි හා ඒ ආශ්රිත නිෂ්පාදනවල අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට වැඩි අගයකින් වර්ධනය කිරීමයි.
2026–2028 කාලසීමාව තුළ නව තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීමටත්, දැනට පවතින තැඹිලි ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමටත් සැලසුම් කර ඇති අතර, අක්කර 500ක් ආවරණය වන පරිදි ජල සම්පාදන පද්ධතිද ස්ථාපිත කිරීමට නියමිතය.
වගාකරුවන්, එකතුකරන්නන් සහ අපනයනකරුවන් සම්බන්ධ කරමින් තැඹිලි වගාවේ සිට අස්වැන්න නෙළීම, ප්‍රවාහනය, සැකසීම සහ අපනයනය දක්වා වූ සමස්ත වටිනාකම් දාමය කළමනාකරණය කිරීම සඳහා විධිමත් දත්ත පද්ධතියක්ද ස්ථාපිත කිරීමට නියමිත බව සඳහන් වේ.














