ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුව විසින් දේශීය ක්‍රිකට් තරගාවලි, පුහුණුකරු ව්‍යුහය සහ මූල්‍ය කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
සැප්තැම්බර් 21 වැනිදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, අප්‍රේල් 29 වැනිදා පත් කළ කමිටුව මාස දෙකක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර රජයට භාරදුන් බවයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බවද එහි සඳහන්.
ප්‍රධාන ප්‍රතිසංස්කරණ අතර, ඉදිරි වසර දෙක තුළ ප්‍රධාන පෙළ ‘A’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 14 සිට 10 දක්වා අඩු කිරීමත්, ‘B’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12ක් පවත්වාගෙන යාමත් ඇතුළත්. එමෙන්ම, ප්‍රධාන පෙළ ‘A’ කාණ්ඩයේ තරගාවලිය දින තුනේ සිට දින හතරේ තරගාවලියක් බවට පත් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
දේශීය තරග කාලසටහන විධිමත් කිරීම, පාසල් ක්‍රිකට් ප්‍රතිසංස්කරණය, ජාතික තණතීරු සකස් කිරීමේ නිලධාරියෙකු පත් කිරීම, දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් පත් කිරීම සහ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය සමාලෝචනය කිරීමද යෝජිත පියවර අතර වනවා. විනිසුරුකරණය, ක්‍රීඩා වෛද්‍ය සේවා සහ ජාතික පිරිමි කණ්ඩායමේ ක්‍රීඩා මනෝවිද්‍යා සහාය වැඩිදියුණු කිරීමටත් කමිටුව පියවර ගෙන ඇති බව සඳහන්.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සඳහා වෘත්තීය සංවර්ධන වැඩසටහන් හඳුන්වාදීම මෙන්ම අනවශ්‍ය නීතිමය කටයුතු, උපදේශන සේවා සහ වියදම් සීමා කිරීම හරහා මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීමටද කටයුතු කර තිබෙනවා. අතීතයේ අසාධාරණ ලෙස දඬුවම් ලැබූ සේවකයින්ට සහ ක්‍රීඩා සමාජවලට සහන සැලසීමට පියවර ගත් බවද කමිටුව පවසනවා.
පරිවර්තන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමත් සමඟ තවත් පියවර හඳුන්වා දෙන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර මට්ටමේ සංවිධානයක් බවට ගොඩනැගීම එහි අරමුණ බවත් කමිටුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.













