ඩිජිටල් ගනුදෙනු ඉහළ යාමත් සමඟ අන්තර්ජාල වංචා වැඩිවීමේ අවදානමක් පවතින බැවින්, සිය මූල්‍ය තොරතුරු ආරක්ෂා කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය අද (21) මහජනතාවට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ATM කාඩ්පත් රහස් අංක, බැංකු මුරපද සහ OTP අංක කිසිවෙකු සමඟ හෝ හුවමාරු නොකරන ලෙස පොලිසිය දැනුම් දෙනවා. බැංකු කිසිවිටෙකත් එවැනි තොරතුරු ඉල්ලා නොසිටින බවද අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම, වෙළඳසැල්වල හෝ ආපනශාලාවලදී කාඩ්පත් භාවිත කරන විට ගනුදෙනුව තමන් ඉදිරිපිට සිදුකරගන්නා ලෙසත්, කාඩ්පතේ පිටුපස ඇති CVV අංකය රහසිගතව තබාගන්නා ලෙසත් උපදෙස් දී තිබෙනවා.
ගිණුම්වලින් මුදල් අඩුවීමක් සිදුවූ වහාම දැනගැනීම සඳහා SMS දැනුම්දීම් සක්‍රිය කරගන්නා ලෙසද පොලිසිය සඳහන් කරනවා. ඩිජිටල් ගනුදෙනු ආරක්ෂිතව හා වගකීමෙන් සිදුකරන ලෙසත්, තම මුදල් ආරක්ෂා කරගැනීම සඳහා ගිණුම් හිමියන්ම අවධානයෙන් කටයුතු කළ යුතු බවත් එම උපදෙස් මාලාවේ වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.













