ශ්‍රී ලංකාවෙන් Onomastus wijesinghei නමින් නව පිනුම් මකුළු විශේෂයක් විද්‍යාත්මකව විස්තර කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයකින් හඳුනාගත් නව විශේෂ තුනෙන් එකක් වන මෙම මකුළුවා පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව 2026 ජූනි 30 වැනිදා Zootaxa විද්‍යාත්මක සඟරාවේ පළ කර ඇති බව පරිසර සමාගම ෆේස්බුක් පිටුව වාර්තා කරයි.
මෙම පර්යේෂණයේදී ඉන්දියාවෙන් Onomastus brahmagiri සහ Onomastus silentvalley යන තවත් නව විශේෂ දෙකක් විස්තර කර තිබේ. පර්යේෂකයන් මකුළුවන්ගේ ශරීර ලක්ෂණ, සවිස්තරාත්මක රූප සටහන් සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ඡායාරූප භාවිත කර විශේෂ අතර වෙනස්කම් හඳුනාගෙන ඇති අතර, කලින් හඳුනාගෙන තිබූ Onomastus patellaris විශේෂයද නව සාම්පල ඇසුරෙන් යළි විස්තර කර ඇත.
අතිරා ජෝස්, සුරේෂ් පී. බෙන්ජමින් සහ අම්බලපරම්බිල් වී. සුධිකුමාර් විසින් සිදුකළ මෙම අධ්‍යයනය දකුණු ආසියාවේ පිනුම් මකුළුවන්ගේ විවිධත්වය සහ පරිණාමීය සම්බන්ධතා පිළිබඳ අවබෝධය පුළුල් කරයි. සීමිත භූගෝලීය ප්‍රදේශවල ජීවත් වන මකුළු විශේෂ හඳුනාගැනීම, ඒවායේ වාසස්ථාන සහ ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා වැදගත් බවද පර්යේෂණය පෙන්වා දෙයි.













