බටහිර-මධ්‍යම සහ ඊට යාබද නැගෙනහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය, අද (21) සවස 5:30 වන විට බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 24 තුළ එය ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා තවදුරටත් වර්ධනය වී උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති අතර, අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 – 65 දක්වා වැඩි විය හැකි බව සඳහන් වේ. ගිගුරුම් සහිත තද වැසි සමඟ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බැවින්, උතුරු අක්ෂාංශ 5 ත් 22 ත් සහ නැගෙනහිර දේශාංශ 85 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත්, දැනටමත් එම ප්‍රදේශවල යෙදී සිටින පිරිස් වහාම ඉවත් වන ලෙසත් තරයේ ඉල්ලා සිටියි.
















