ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්බාජෝගායි නගරයේ පැවති කිලෝමීටර් 3ක මැරතන් තරගයක අවුරුදු 30-60 අතර වයස් කාණ්ඩයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට 47 හැවිරිදි රාම්බායි රන්වීර් නමැති මවක් සමත්ව තිබේ. තම දරුවන් දෙදෙනාට පොත්පත් මිලදී ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන් ඇය මෙම තරගයට ඉදිරිපත් වී ඇති අතර, ජයග්‍රාහී ත්‍යාග මුදල ලෙස රුපියල් තුන්දහසක මුදලක් දිනාගත් බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත් සේවය වාර්තා කරයි. කිසිදු පුහුණුවක් නොමැතිව, ක්‍රීඩා ඇඳුම් හෝ පාවහන් නොමැතිව සාරියෙන් සැරසී ඇය මෙම තරගයට එක්වීම විශේෂත්වයකි.
තරගය අතරතුර ඇගේ සෙරෙප්පු යුවළ මඩ සහිත මාර්ගයේ ලිස්සා යාම නිසා ඒවා ගලවා අතට ගෙන දෙපයින්ම ඉදිරියට දිව ගොස් ඇය මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇති අතර, ඇයගේ දක්ෂතාව දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වෙමින් විශාල අවධානයක් දිනාගෙන තිබේ.
















