පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීමේ සහ සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීමේ අරමුණින්, රුපියල් මිලියන 65කට අධික වටිනාකමකින් යුත් ව්‍යායාම උපකරණ කට්ටල දිවයින පුරා පාසල් 500ක් වෙත බෙදා දීමේ පළමු අදියර යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ආරම්භ කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ග්‍රාමීය පාසල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 48ක් සඳහා උපකරණ බෙදා දී ඇති අතර, උපකරණ නිසි පරිදි භාවිත කිරීම සහ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා පළාත් මට්ටමින් WhatsApp සමූහ හරහා කෙටි උපදෙස් වීඩියෝ ලබා දීමටද කටයුතු යොදා ඇත. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනින්දු සමන් හෙන්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















